උදේ හවස බණ කියන, බණ අසන ,හැම ගමක ,නගරයකම අවම වශයෙන් එක පූජනීය ස්ථානයක් හෝ පිහිටා තිබෙන අපේ රටේ 2013, 2014, 2015 වසර තුන තුලම දිවි නසාගත් අයගේ ඉහලම ප්රතශතය අවුරදු 65 ට වැඩි වයස්ගත මිනිසුන් බව වාර්තා වී ඇත.. තමන් හැදු වැඩු දරුවන් විසින්ම වියපත් මව් පියන් බලු කුඩුවල බැද දමන තරමට මේ වනවිට අප සමාජය විෂම වී ඇත. බස් රියේ දුම්රියේ යද්දී අබල දුබල වැඩිහිටියෙක් ගොඩ වූ විට අපේම තරුණ දූ පුතුන්ට සීටින අසුනේ වල නින්ද යන හැටි අපි අත්දකිමු. මග තොටේ බත්පතට වෙනුවෙන් අත පාන වැඩිහිටියන් අපිට කොපමණ හමු වී ඇද්ද? වැඩිහිටි නිවාස වලට කොටුව කොපමණ වැඩිහිටියන් හුදකලාව මානසික පීඩනයට පත්ව සිටීද?. මෙසේ අසරණ වී මානසික වධ බන්ධනයටද ලක්ව සිටින්නේ හේනේ ,කුඹුරේ, කම්හලේ, වැඩපලේ දහඩිය වැගුරූ, ජීවිතය යන්තම් ගැටගසා ගත් අයම නොවේ.ජීවිතයේ එක් කලෙක මහ බලවතුන්, ධනවතුන් ,වියතුන්, වෘත්තීය විශේෂඥයින් ,ව්‍යාපාරිකයින් ද මහලු වයසේ මෙසේ අසරණව සිටිති.මේ අසරණව සිටින්නේ දරුවන් නොවක් සෙනහසින් ඇති දැඩි කල, දෑස් පැදු, දිවා රෑ නොබලා දරුවන් වෙනුවෙන් දහඩිය වැගුරූ මව් පිය වැඩිහිටයන්ය.
ලෝකය වෙනස් වී ඇත ජීවිත සංකීර්ණ වී ඇත. තාත්තා පමණක් නොව, පෙරදා දරුවන් රැකබලා ගත් අම්මාද ජීවිත සටන ජයගැනීම සදහා උදේ හිරු නැගෙන විට නිවසින් පිටම , සවස හිරු බැසගෙන යද්දී නිවසට පැමිනෙන තත්වයට සමාජය පත්ව ඇත. අද දරුවන්ට මව්පිය ආදරය අත්වීදීමට ඉඩක් නැත. මව්පියන් නිවසේ සිටින සුලු කාලය ද දරුවන් සමග නොවේ.දරුවා පොතට විභාගයට කොටු කර තිබේ. කෙසේ හෝ අනිකා පරදා ජයගැනීමට අපිම දරුවා පොලඹවමින් සිටිමු.
මේවා වෙනස් කල නොහැක. සමාජ ගමන ආපසු හැරවිය නොහැක. වෙනස් කරන්නට තැත් දැරීමද මුලු සමාජ දේහයට කඩා දමන්නට දරණ මෝඩ උත්සාහයෙකි. කලයුත්තේ විකල්ප විසදුම් සොයා ගැනීම පමණි. අපි එක්ව මෙම ගැටලුවට විසදුම් සෙවීම පමා කලහොත් අද ආදරයෙන් ,සෙනහසින් ඇති දැඩි කරන අපේම දරුවා අනාගතයේදී අපිව බලු කුඩුවක, මහලු නිවසක, මහමග තනිකරන නොදමාවියයි සහතික දීමට කිසිවෙකුටත් නොහැක. එයට දරුවා වැරදි කරු නොවේ.අප දරුවාට දෙන දේ දරුවාගෙන් අපිට ලැබෙන බැවිනි. කදුරු සිටවා මී අඹ නෙලිය නොහැකි බව අපි තේරුම් ගතයුතු වෙමු.
ශ්‍රි ලංකා වැඩිහිටියෝ මෙම ගැටලුවට විකල්ප විසදුම් සෙවීම සදහා කැපවූ සංවිධානයෙකි. අපි ලමා හා තරුණ පරපුරේ මනස තුල වැඩිහිටියන්, මව්පියන් ගැන ආදරය, කරුණාව, ගෞරවය රෝපණය කිරීමටද ,වැඩිහිටි යුතුකම්, වගකීම් , අයිතිවාසිකම්, සුබසාධනය පිනිස අවශ්‍ය නීතිරීතීන් සම්පාදනය කර ගැනීම පිනිසද, වැඩිහිටියාගේ දැනුම පලපුරුද්ධ හා අත්දැකීම් වලින් උපරිම සේවය සාමාජයට ලබාදීම පිනිසද, වැඩිහිටියාගේ ආර්ථික, සාමාජික,මානසික, නෛතික ගැටලු වලට විසදුම් සෙවීම පිනිසද කැපවී සිටිමු.
ඔබටද මෙම ගැටලුවට විසදුම් සෙවීම සදහා එක්වන ලෙස කාරුණිකව ආරාධනා කරමු. ශ්‍රී ලංකා වැඩිහිටියෝ ක්‍රියාකාරියෙකු වීමෙන් , සාමාජිකයකු වීමෙන් , අදහස් යෝජනා දීමෙන් , හැකි පමනින් මුදලකින් දායක වීමෙන් ,අපගේ කටයුතු විවේචනය කර අප නිවරදි කිරීමෙන් , හෝ වෙනත් ඔනෑම අයුරකින් ඔබට මෙම සත්ක්‍රියාවට දායක විය හැකිය.
.
ශ්‍රී ලංකා වැඩිහිටියෝ ප්‍රජා සංවිධානය
ගරු සභාපති
Comments
Post a Comment